Fantasy සිහිනය

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බින්දු වැටේවි
රෝස පෙති කඩා හැලේ'

ප්‍රථම ප්‍රේමයේ විරහව දරාගෙන දුක්වෙන පෙම්වතකුගේ චිත්ත සන්තානය තුළ නැඟෙන ඒකපාර්ශ්වික සිතිවිලි දැහැන ඉතාම සුමටව ඉහත ගීතය තුළින් රත්න ශ්‍රී කවියා ප්‍රකට කරනවා. සඳ පෑයූ රාත්‍රියක අහස දෙස බලන තරුණයාට ප්‍රථම ප්‍රේමයේ මතක සිහියට නැඟෙනවා. මීදුමෙන් වැසුණු සඳ ඔහුට පෙනෙන්නේ ප්‍රථම පෙම්වතියගේ දුක්මුසු මුහුණ වගේ. මේ රාත්‍රියේ තමා දුක්වෙනවා වගේම ඇයත් දුකෙන් අඬනවා ඇති. ඒ වගේම නිවි නිවී දිලෙන තරු ඔහුට පෙනෙන්නේ කඳුළින් පිරුණු ඇගේ ඇස් වගෙයි. එම නිසා තරු කැට වැනි ඇගේ ඇස් කඳුළින් බොඳවී, එහි දීප්තියත් මැකී, ඇයගේ නෙත් ගිලී ගොස් ඇතැයි සිතන ඔහුට කවුළුවෙන් එපිට පරවුණු රෝස මලකට වැහි බින්දු වැටෙනවා දකින විට මතකයට නැඟෙන්නේ ප්‍රථම පෙම්වතියගේ සුමුදු කොපුල්, රෝස පෙතිවලට වැහි බින්දු වැටෙන්නා වගේම ඇයගේ කොපුල්වලටද දැන් කඳුළු බින්දු වැටෙනවා ඇති.

'කිලිපොලා සැලී යමින්
නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ'

මේ සීතල රාත්‍රියේ තවදුරටත් ඔබ ගැන සිත සිතා හිඳීමෙන් තවත් පලක් නොවන බව මම දන්නවා. නමුත් තව තවත් ඔබ ගැන සිතන්නට මම කැමැතියි. එත් අපේ ජීවිතය සැලෝලයිට් පටයක දිගහැරෙන මහා සිනමාවක් මෙන් සිහිනයක් නොවන නිසා, දිගු දිවියේ බර අදින්න මම හෙට උදේම අවදි විය යුතුයි. ඒත් හැමදාම වගේ අදත් මම නින්දට යන්නේ මගෙන් බොහෝ දුරස් වූ ඔබගේ උණුසුම තුරුලු කරන්.

'රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ'
ලොව සියල්ලම අනිත්‍යයේ ලක්ෂණ පෙන්වන නිසා, ඔබ පිළිබඳ මතකයන් අවදි කළ මේ රැයත් ඔබේ මුහුණ වැනි සඳ හංගලා තව සුළු මොහොතකින් ගෙවිලා යයි. ඉතින් මම ඔබේ ජීවිතයේ තවදුරටත් අතරමැදියෙක් නෙවෙයි. මගේ රෝස මල දැන් මට අහිමිව ඇත. ඒ මල කිසිවකු විසින් නෙළාගෙන ඇත. දැන් මට උරුමව ඇත්තේ කටු සහිත නටුව පමණයි. නමුත් මම ඒ මල උදුරා ගැනීමට දුෂ්ටකම් කරන්නේ නැහැ. අතීත සැමරුම් මතකයට නැඟීම හදවතට බොහෝ රිදුම් දුන්නත්, මම ඒ සැමරුම් තුළින් තවමත් අපේ ආදරය විඳිනවා. ජීවිතය ආදරය නෙවෙයි. ආදරය ජීවිතයේ කොටසක් බැවින් ජීවිතය බොහෝ දුරයි කියලා මට දැන් හිතෙනවා. (Love is not life, love is part of life)  පුංචි කුමරියේ, ශීත ඍතුව නිමවූ පසු අනිවාර්යයෙන්ම වසන්තය එන නිසා, මම මේ කටු පොකුරු සිප ගන්නේ, හෙට මලක් වනු පිණිසයි. මතක තියාගන්න, මම ඔබට තාමත් ආදරෙයි. ඔබට සුබ රාත්‍රියක්.

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.