Fantasy සිහිනය

ලියන පැන්සලෙනුත් ඔබට බොහෝ පාඩම් ඉගෙන ගනන්නට පුළුවන්.

අරුණෝදයේම, තණපත් මත දිලෙන පිනිබින්දු වියැකෙන්නටත් පෙරාතුවම තුරු සෙවණකට වී යමක් ලියමින් සිටි ගුරුතුමා වෙත ශිෂ්‍යයා සමීප වුණා.
'ගුරුතුමනි, අපි ගැනද අපේ ගුරු කුලය ගැනද ඔබතුමා ලියන්නෙ. මට හොඳටම විශ්වාසයි ඔබතුමා ලියන දෙයින් අපට බොහෝ දේ ඉගෙනීමට ලැබේවි....'
ගුරුතුමා ලිවීම නතර කර සෙමින් ශිෂ්‍යයා දෙසට හැරුණා....
'මම ලියන්නෙ නුඹලා වෙනුවෙන් තමයි දරුවා...... ඒත් ඉගෙන ගන්න කැමැති නම් මා මේ ලියන දෙයින් පමණක් නෙවෙයි..... මේ ලියන පැන්සලෙනුත් ඔබට බොහෝ පාඩම් ඉගෙන ගනන්නට පුළුවන්.
ශිෂ්‍යයා වඩාත් විමසිලිමත්ව ගුරුතුමා අත රැඳුණු පැන්සල දෙස බැලුවා. ඒත් ඒ පැන්සලේ කිසිදු විශේෂත්වයක් දකින්න ශිෂ්‍යයාට පුළුවන්කමක් ලැබුණෙ නෑ.
'ඒත් ගුරුතුමනි..... මේ නිකම්ම නිකං පැන්සලක් විතරයිනෙ....'
'පැන්සල විශේෂ වෙන්නෙ හෝ නොවෙන්නෙ ඔබ ඒ දෙස බලන ආකාරය අනුවයි දරුවා. පැන්සලේ සුවිශේෂී ගතිගුණ පහක් මට ඔබට පෙන්වන්න පුළුවන්. ඒ ගතිගුණ ඔබේ ජීවිතයටත් එකතු කරගන්න හැකි වුණොත් සාමකාමී, සාර්ථක ජීවිතයක් ගත කරන්න මහෝපකාරී වේවි.....'
ශිෂ්‍යයා පැන්සලකින් ඉගෙන ගත හැකි ඒ පාඩම ඉගෙන ගැනීමේ කුතුහලයෙන් තවත් ගුරුතුමා වෙත සමීප වුණා.... ගුරුතුමා පැන්සල අතට අරන් ශිෂ්‍යයා දෙසට හැරුණා.....
'පැන්සල අපට කියාදෙන පළමු පාඩම තමයි, ඔබට මොනතරම් දේ කළ හැකි කෙනකු වුණත්, හැමවිටම ඔබව මෙහෙයවන්නට, තවත් ඔබව මෙහෙයවීමට සුදුසු කෙනකුට, බලවේගයකට ඉඩ දෙන එක..... පැන්සල හැමවිටම තමාව හසුරුවන ඇඟිලිවලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා.... අපේ ආගමික විශ්වාසයන් හැමවිටම පැන්සල නිවැරැදිව මෙහෙයවන ඇඟිලි තුඩු මෙන් අපේ ජීවිත හැඩ ගස්වන්නට ඉඩ දෙන්න පුරුදු වෙන්න.....'
'ලියන අතරතුර, වරින් වර මම ලිවීම නවතා පැන්සල පිහිතුඩින් කපා උල් කරගනු ඔබට පෙනෙනවා ඇති. පිහිතුඩින් කැපී වේදනාවට, පීඩාවට ලක් වුණත් ඒ විඳින පීඩාවලින් පසුව පැන්සල වඩාත් තියුණුව, වඩාත් උදේ‍යාගිමත්ව ලියැවෙනවා ඔබට පෙනෙනවා ඇති.
පැන්සල කියාදෙන මේ දෙවැනි පාඩමත් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. කරදර, බාධක, කම්කටොලු... මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුණත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උදෙයාගිමත්ව, වඩාත් තියුණුව, වඩාත් සාර්ථකව නැඟී සිටින්නට ඉගෙන ගන්න.....
ශිෂ්‍යයා ගුරුතුමා අත ඇති පැන්සල දෙස වඩාත් ගෞරවයෙන් බලන්න පටන් ගත්තා.... ගුරුතුමා දිගටම කතා කරගෙන ගියා....
'පැන්සල හැම විටෙකම, තමන් අතින් වූ වැරැදි අඩුපාඩු මකා දමන්නට ඉඩ දෙනවා, එහි තේරුම වැරැදීම් පිළිගෙන, ඒවා නිවැරැදි කිරීමට නිහතමානී වීමයි... එය කිසිසේත්ම පරාජයක්. බිඳවැටීමක් ලෙසින් දකින්නට එපා.... නිවැරැදි වීමට, නිවැරැදි කිරීමට ඉඩ තැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ ගමන් කරවීමට හේතු වෙනවා. තුන්වැනි පාඩම ලෙසින් පැන්සල අපට කියාදෙන්නේ ඒ පාඩමයි....'
ගුරුතුමාගේ පැසුණු බුද්ධිය ගැනත්, විචක්‍ෂණශීලීත්වය ගැනත් ගෞරවය පිරුණු ශිෂ්‍යයා නෙතින් බලා සිටිද්දී ගුරුතුමා පැන්සල සතු හතර වැනි ගුණාංගය පැහැදිලි කළා.....
'පැන්සලක වඩා වටිනා කොටස වෙන්නෙ පිටතින් පෙනෙන අලංකාර කළ ලී පතුරු කොටස නෙවෙයි.... එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු පැහැ මිනිරන් කූරයි. පැන්සල වෙතින් අපට ඉගෙන ගත හැකි හතරවැනි පාඩම බාහිර වැඩි අලංකරණයට නොරැවටී, අභ්‍යන්තරයේ ඇති නොපෙනෙන හරය සොයා ගන්නා ලෙසය.
අවසාන පාඩමෙන් පැන්සල කියා දෙන්නෙ, පළමු පාඩම් හතරටම නොදෙවැනි හරවත් පාඩමක්... පැන්සල හැමවිටම කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා. සාමාන්‍ය ජීවිතයේදී අපි කරන සෑම දෙයකින්ම හොඳ හෝ නරක පමණක් ඉතිරි වෙන බව මතක තබාගන්න.... ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන කියන සෑම කටයුත්තකදීම වඩා අවධානයෙන්... සාර්ථකව වැඩකටයුතු කරගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා.
නොවැදගත් සාමාන්‍ය සේ පෙනුණු පැන්සලකින් ජීවිතයට කෙතරම් හරවත් දේ ඉගෙන ගත හැකි දැයි පුදුමයටත්, සතුටටත් පත්වෙමින් ශිෂ්‍යයා ගුරුතුමා වෙතින් නැඟී සිටියා.....
විදේශීය උපදේශ කතාවක් ඇසුරින් අනුවර්තනයක්

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.